නමෝ බුද්ධාය...!

16. සතර බ‍්‍රහ්ම විහරණ

අන්තර්ගතය ↓

නමෝ බුද්ධාය!

16.1. මෛත‍්‍රී භාවනාව

මෙත් සිත වඩන හැටි….

මෛත‍්‍රිය කියල කියන්නේ තමාටත්, අන් අයටත් හදවතින්ම පවත්වන මිත‍්‍රත්වයයි. තමා තමාට මිත‍්‍ර නම් තමා විසින් තමන්ගේ ජීවිතයට හානියක්. කරදරයක් කර ගන්නෙ නැහැ. තමා අනුන්ට මිත‍්‍ර නම් අනුන්ගේ ජීවිතයට කරදරයක් කරන්නෙ නැහැ. මේ නිසා තමාටත්, අනුන්ටත් යහපත සළසන මිත‍්‍රත්වයට මෛත‍්‍රිය කියනවා.

මෛත‍්‍රී භාවනාව වඩන ආකාර දෙකක් මජ්ඣිම නිකායේ අනුරුද්ධ සූත‍්‍රයේ සඳහන් වෙනවා. අනුරුද්ධ මහ රහතන් වහන්සේ මෛත‍්‍රී භාවනාව වඩන ක‍්‍රම දෙක පිළිබඳව පැහැදිලි කරල දීල තියෙනවා. ඒ තමයි අප්පමාණ චේතෝ විමුක්තියත්, මහග්ගත චේතෝ විමුක්තියත්.

අප්පමාණ චේතෝ විමුක්තිය වඩන හැටි….

අප්පමාණ චේතෝ විමුක්තිය කියන්නේ ප‍්‍රමාණ රහිත කොට දිශා වශයෙන් මෛත‍්‍රී සිත පැතිරවීමයි. ඒ කියන්නේ දිශා වශයෙන් වෙන් කරගෙන දස දිසාවටම මෛත‍්‍රිය වැඞීමයි. අප‍්‍රමාණ ක‍්‍රමයට මෛත‍්‍රී භාවනාව කරන්නට කැමති කෙනෙකුට මේ භාවනා වාක්‍ය කටපාඩම් කරගෙන මෛත‍්‍රී භාවනාව වඩන්න පුළුවන්.

1. උතුරු දිශාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා… තරහා නැත්තෝ වෙත්වා… ඉරිසියා නැත්තෝ වෙත්වා… දුක් පීඩා නැත්තෝ වෙත්වා… සුව සේ ජීවත් වෙත්වා… ශාන්ත සුවයට පත්වෙත්වා.
2. උතුරු අනු දිශාවේ සිටින සියලු සත්වයෝ….
3. නැගෙනහිර දිශාවේ සිටින සියලු සත්වයෝ …
4. නැගෙනහිර අනු දිශාවේ සිටින සියලු සත්වයෝ…
5. දකුණු දිශාවේ සිටින සියලු සත්වයෝ…
6. දකුණු අනු දිශාවේ සිටින සියලු සත්වයෝ …
7. බටහිර දිශාවේ සිටින සියලු සත්වයෝ …
8. බටහිර අනු දිශාවේ සිටින සියලු සත්වයෝ …
9. උඩ දිශාවේ සිටින සියලු සත්වයෝ …
10. යට දිශාවේ සිටින සියලු සත්වයෝ …

මහග්ගත චේතෝ විමුක්තිය වඩන හැටි….

මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ ටිකෙන් ටික මෛත‍්‍රිය වඩන ප‍්‍රදේශය පුළුල් කරමින් මෛත‍්‍රිය වැඞීම යි. ඒ කියන්නේ පළමුවෙන් ම තමන්ට මෛත‍්‍රිය වඩනවා, ඊළඟට ගමේ අයට, පළාතේ අයට, තමන් ජීවත් වෙන රටේ අයට මෛත‍්‍රිය වඩනවා. මෙන්න මේ ක‍්‍රමයට මෛත‍්‍රී භාවනාව වඩන්න කැමති කෙනෙකුට මේ භාවනා වාක්‍ය ටික කටපාඩම් කරගෙන මහග්ගත ක‍්‍රමයට මෛත‍්‍රිය වඩන්න පුළුවන්.

1. මම වෛර නැත්තෙක් වෙම්වා…. තරහ නැත්තෙක් වෙම්වා… ඉරිසියා නැත්තෙක් වෙම්වා… දුක් පීඩා නැත්තෙක් වෙම්වා….. සුව සේ ජීවත් වෙම්වා….. ශාන්ත සුවයට පත්වෙම්වා…..
2. මා මෙන්ම මේ ගමේ සිටින සියලු සත්වයෝ …
3. මා මෙන්ම මේ නගරයේ සිටින සියලු සත්වයෝ ..
4. මා මෙන්ම මේ පළාතේ සිටින සියලු සත්වයෝ …
5. මා මෙන්ම මේ රටේ සිටින සියලු සත්වයෝ …
6. මා මෙන්ම මේ ලෝකයේ සිටින සියලු සත්වයෝ
7. මා මෙන්ම මේ සියලු සත්වයෝම …

මෛත‍්‍රී ධ්‍යාන දක්වා….

ඇත්තෙන්ම මෛත‍්‍රී භාවනාවෙන් තුන් වෙනි ධ්‍යානය දක්වාම හිත දියුණු කරන්න පුළුවන්. මෛත‍්‍රී භාවනාව තුළින් ධ්‍යානයක් ඇති කරගන්න නම් බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙන ආකාරයටම භාවනා කළ යුතුයි. මේ ක‍්‍රමයට මෛත‍්‍රී භාවනාව වඩන කොට පංච නීවරණ යටපත් වෙලා මෛත‍්‍රී අරමුණ තුළම හිත එකඟ වෙනවා. ඒ එකඟ වූ සිතින් යුතුව තවදුරටත් මෛත‍්‍රී භාවනාව වඩන කොට විතක්ක, විචාර, නිරාමිස ප‍්‍රීතිය සැපය හා ඒකාග‍්‍රතාවය ඇති පළමු වෙනි ධ්‍යානය ලැබෙනවා. එයාට පුළුවන් තවදුරටත් මෛත‍්‍රී භාවනාව දියුණු කරලා දෙවෙනි, තුන්වෙනි කියන ධ්‍යාන ලබන්න.

මෛත‍්‍රී භාවනාවේ ආනිසංශ

අංගුත්තර නිකායේ මෙත්තානිංස සූත‍්‍රයේදී මෛත‍්‍රී භවනාව කරන කෙනෙකුට ලැබෙන ආනිසංස ඉතාම පැහැදිළිව පෙන්වා දීලා තියෙනවා. ඒ තමයි මෛත‍්‍රී භාවනාව වඩන පුද්ගලයා.

1. සැප සේ නිඳාගන්නවා.
2. සැප දේ අවදිවෙනවා.
3. නිදා සිටින විට නපුරු හීන දකින්නෙ නෑ.
4. මිනිසුන්ට ප‍්‍රිය වෙනවා.
5. අමනුෂ්‍යයින්ට ප‍්‍රිය වෙනවා.
6. දෙවිවරු ඔහුව ආරක්ෂා කරනවා.
7. වස විෂ, අවි ආයුධ වලින් විපත් සිදුවෙන්නෙ නැහැ.
8. සමාධිය ඉක්මනින්ම ඇති කරගන්න පුළුවන්.
9. ශරීර වර්ණය පැහැපත් වෙනවා.
10. සිහි මුළා නො වී මරණයට පත්වෙනවා.
11. මේ ජීවිතයේ අරහත්වයට පත්වුණේ නැත්නම් බ‍්‍රහ්ම ලෝකයේ උපදිනවා.


16.2. මුදිතා භාවනාව

අරතිය නැති කරගන්න මුදිතාව වඩන්න…

මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ”සතර බ‍්‍රහ්ම විහරණ” කියල හඳුන්වනව. මහා බ‍්‍රහ්මයා මේ කරුණු හතරෙන් යුක්තව වාසය කරන නිසයි එහෙම කියන්නෙ. මනුෂ්‍යයන් වශයෙන් අපත් නිතර මේ කරුණු හතර අපේ ජීවිතයේ දියුණු කරනව නම් අපටත් මරණින් පස්සෙ බ‍්‍රහ්ම ලෝකයක උපත ලබන්නට පුළුවනි.

අන් අයගේ දියුණුව දැක ඒ කෙරෙහි ඇති කර ගන්නා සතුට මුදිතාවයි. කෙනෙක් මේ ජීවිතයට තුළ ධාර්මිකව ධනය රැුස්කර ගෙන ඉඩකඩම් ගෙවල් දොරවල් හදාගෙන දියුණු වෙන්න පුළුවනි. ඒවා දැකීමෙන් අපේ සිතේ වෛරයක් ඇති නොකර සතුටක් ඇති කර ගන්නට හැකි නම් එය මුදිතාවයි. ඒ වගේම කෙනෙක් ඉගෙනීමෙන්, කීර්තියෙන්, ප‍්‍රශංසාවෙන්, ශරීර වර්ණයෙන් වැඩෙන්නට පුළුවන්. ඒ සෑම කරුණකදීම අපේ සිතේ සතුටක් ඇති කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕනෙ. සමහර විට කෙනෙක් තවත් කෙනෙකුගෙ ලස්සන රූපයට ඉරිසියා කරනව. හොඳින් ඉගෙන ගන්නවාට ඉරිසියා කරනවා. තවත් කෙනෙකුගෙ කීර්ති ප‍්‍රශංසාවලට ඉරිසියා කරනවා. මේ වාගේ අකුසල සිතිවිලි සිතෙන් දුරු කරල, ඒ අවස්ථාවල සතුටක් ඇති කර ගන්නට මහන්සි වෙන්න ඕනෙ.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ කුසල් දහම්වල සිත නොඇලෙන ගතිය (අරතිය) දුරු කරගන්න මුදිතාව වඩන්න කියල. මුදිතාව දියුණු කිරීමෙන් ඇති කරගන්නා චිත්ත සමාධිය මුදිතා චේතෝ විමුක්තියත් මහග්ගත, අප්පමාණ යන ක‍්‍රම දෙකෙන් දියුණු කළ හැකියි. මහග්ගත චේතෝ විමුත්තිය ටිකෙන් ටික තමා අවට ප‍්‍රදේශ වලට පැතිර විය හැකියි. අප්පමාණ චේතෝ විමුත්තියේදී පළමුව තමන්ට මුදිතාව වඩා ඉන්පසු උතුරු දිශාව, උතුරු අනුදිශාව ආදී වශයෙන් දස දිශාවටම මුදිතාව පැතිරවිය හැකියි.

මහග්ගත මුදිතා චේතෝ විමුක්තිය වඩන හැටි….

1. මම ආයුෂයෙන් වැඩෙම්වා… බලයෙන් වැඩෙම්වා… වර්ණයෙන් වැඩෙම්වා… සැපයෙන් වැඩෙම්වා… යසසින් වැඩෙම්වා… කීර්තියෙන් වැඩෙම්වා… ප‍්‍රඥාවෙන් වැඩෙම්වා…
2. මා මෙන්ම මේ නිවසේ සිටින සියලු දෙනාම….
3. මා මෙන්ම මේ ගමේ සිටින සියලු සත්වයෝ …
4. මා මෙන්ම මේ නගරයේ සිටින සියලු සත්වයෝ …
5. මා මෙන්ම මේ පළාතේ සිටින සියලු සත්වයෝ …
6. මා මෙන්ම මේ රටේ සිටින සියලු සත්වයෝ …
7. මා මෙන්ම මේ ලෝකයේ සිටින සියලු සත්වයෝ …
8. මා මෙන්ම මේ සියලු සත්වයෝම …

අප්පමාණ චේතෝ විමුක්තිය වඩන හැටි….

1. මම ආයුෂයෙන් වැඩෙම්වා… බලයෙන් වැඩෙම්වා… වර්ණයෙන් වැඩෙම්වා… සැපයෙන් වැඩෙම්වා… යසසින් වැඩෙම්වා… කීර්තියෙන් වැඩෙම්වා… ප‍්‍රඥාවෙන් වැඩෙම්වා…
2. උතුරු දිශාවේ සිටින සියලු සත්වයෝ ….
3. උතුරු අනු දිශාවේ සිටින සියලු සත්වයෝ….
4. නැගෙනහිර දිශාවේ සිටින සියලු සත්වයෝ …
5. නැගෙනහිර අනු දිශාවේ සිටින සියලු සත්වයෝ…
6. දකුණු දිශාවේ සිටින සියලු සත්වයෝ…
7. දකුණු අනු දිශාවේ සිටින සියලු සත්වයෝ …
8. බටහිර දිශාවේ සිටින සියලු සත්වයෝ …
9. බටහිර අනු දිශාවේ සිටින සියලු සත්වයෝ …
10. උඩ දිශාවේ සිටින සියලු සත්වයෝ …
11. යට දිශාවේ සිටින සියලු සත්වයෝ …


16.3. කරුණා භාවනාව

අන් අය කෙරෙහි කරුණාවන්ත වෙන්න…

අන් අයගේ කායික මානසික පීඩාවන් කෙරෙහි ඇති වන අනුකම්පාව කරුණාවයි. මනුෂ්‍ය ලෝකයේ ජීවත් වන අප සියලූ දෙනාම සෑම මොහොතකම විවිධ දුක් කරදර පීඩාවන්ගෙන් පීඩා විඳින්නෙමු. ලෙඩ දුක්, හදිසි ස්වභාවික විපත් ආදියේදී බොහෝ දෙනා කායිකවත්, මානසිකවත් පීඩා විඳිනවා. ඒ ආකාරයෙන් අසරණ භාවයට පත් වූ අය දෙස අනුකම්පාවෙන් බැලීමේදී ඇතිවෙන්නේ කරුණාවයි. කරුණාව දියුණු කිරීමෙන් කරුණා චේතෝ විමුක්තිය ඇති කරගත හැකිය.

කරුණා චේතෝ විමුක්තියත් මහග්ගත, අප්පමාණ යන ආකාර දෙකෙන්ම දියුණු කර ගත හැකිය. ඒ චේතෝ විමුක්තිය තුළ පිහිටා විදර්ශනා වැඞීමෙන් ආස‍්‍රව ක්ෂය කිරීමේ හැකියාවද ලැබේ.

කරුණා භාවනාව වඩන හැටි…

මම කායික පීඩා නැත්තෙක් වෙම්වා…. මානසික පීඩා නැත්තෙක් වෙම්වා… කායික සුවයෙන් සුවපත් වෙම්වා…. මානසික සුවයෙන් සුවපත් වෙම්වා… සුවසේ ජීවත් වෙම්වා….

මා මෙන්ම….

(කලින් මෙත්තා හා මුදිතා භාවනාවල ආකාරයටම මහග්ගත චේතෝ විමුක්තියට හා අප්පමාණ චේතෝ විමුක්තියට මෙම කරුණා භාවනාව වැඩිය හැකිය.)


16.4. උපේක්ෂා භාවනාව

අට ලෝ දහමට කම්පා නො වී ඉන්නට නම්…

අපට එදිනෙදා ජීවිතයේ දී මුහුණ දීමට සිදුවන දුක් කරදර හමුවේ අපි දුකට පත්වෙනවා. සැප සතුට ලැබෙන අවස්ථාවලදී අපි සතුටට පත්වෙනවා. මේ අයුරින් සැප සතුට ලැබෙන අවස්ථාවලත් දුක් කරදර ලැබෙන අවස්ථා වලත්, මැදහත් සිතින් යුතුව කටයුතු කිරීම උපේක්ෂාවයි. උපේක්ෂාව පුරුදු කළ විට දුක් කරදර නිසා පීඩාවට පත් නොවේ. සැප සතුට නිසා උද්දාමයට පත් නොවේ. මැදහත් සිතින් ඒ සියල්ල විඳගනී. අපි සියලූ දෙනාටම මුහුණ දීමට සිදු වී ඇත්තේ අට ලෝ දහමටයි. ඒ අට ලෝ දහම හමුවේ කම්පා නොවන සිතක් ඇති කර ගැනීමට උපේක්ෂාව වැඩිය යුතුය. උපේක්ෂාව දියුණු කිරීමෙන් ලබා ගන්නා චිත්ත සමාධිය උපේක්ෂා චේතෝ විමුත්තියයි. එයද මහග්ගත අප්පමාණ වශයෙන් දෙආකාර වේ. උපේක්ඛා චේතෝ විමුත්තය තුළ විදර්ශනා වැඞීමෙන් ආස‍්‍රව ක්ෂය කිරීමේ හැකියාව ඇත.

උපේක්ෂා භාවනාව වඩන හැටි…

මම ලාභය නිසා සතුටු නොවෙම්වා… අලාභය නිසා දුක් නොවෙම්වා… ප‍්‍රශංසා නිසා සතුටු නොවෙම්වා… නින්දා නිසා දුක් නොවෙම්වා… යසස නිසා සතුටු නොවෙම්වා… අයස නිසා දුක් නොවෙම්වා… කායික සැපයෙන් සතුටු නොවෙම්වා… කායික දුකකින් දුක් නොවෙම්වා… මානසික සැපයෙන් සතුටු නොවෙම්වා… මානසික දුකකින් දුක් නොවෙම්වා… ශාන්ත සුවයට පත් වෙම්වා…

මා මෙන්ම….

(කලින් මෙත්තා හා මුදිතා භාවනාවල ආකාරයටම මහග්ගත චේතෝ විමුක්තියට හා අප්පමාණ චේතෝ විමුක්තියට මෙම උපෙක්ඛා භාවනාව වැඩිය හැකිය.)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

Related Posts Plugin for WordPress, Blogger...
Leave a Reply

Latest Image Galleries

Contact Details

Waduwawa, Yatigal Oluwa, Polgahawela, Sri Lanka.
Phone: (094) 37 22 44 602
Fax: (094) 37 22 44 602
Email: info@mahamevnawa.lk

All Rights Reserved

Contents of this website are fully protected by copyright laws. Copyright of some images belongs to their ownership.Downloading any contents for personal use is allowed. Selling these contents is strictly prohibited. Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'Mahamevnawa.lk'.