෴ 11 ගාථා රත්නය ෴
එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව
”උත්සාහයටම ඇලුම් කිරීමෙන් ජය උදාවේ…
පින්වතුනේ, පින්වත් දරුවනේ,
උත්සාහය කියන්නේ පුදුම දෙයක්. කැපවීම කියන්නේ පුදුම දෙයක්. නුවණින් විමසනවා කියන්නේ පුදුම දෙයක්. මේ සියලු දේ ඕනම කෙනෙකුගේ සාර්ථකත්වය පිටුපස තියෙනවා. මේ සියලු දේ තුළින් තමයි සියලු බාධක මැඬගෙන ඉදිරියට යන්නෙ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ වුනත් සසුන්ගත වූ භික්ෂූන් වහන්සේලා හට ඉබේම සිල් පිහිටියේ නෑ. ඉබේම සිත සමාධිමත් වුනේ නෑ. ඉබේම ප‍්‍රඥාව ඇති වුනේ නෑ. බොහෝම මහන්සි වුනා. කැපවුනා. වීරියවන්ත වුනා. අඩු පහසුකම් වලින් සතුටු වුනා.

එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වදාළා භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක් ඉක්මනින්ම අරහත්වයට පත්වීමට උන්වහන්සේලාගේ කැපවීම මහත් සේ උපකාරී වූ බව. ඒ කාලයේ බොහෝ භික්ෂූන් වහන්සේලා නිතර නිතර උත්සාහ කළේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමටයි. ඇතැම් අවස්ථාවලදී නින්දට කිසිම තැනක් දුන්නෙ නෑ. හිසට තබා ගත්තෙ ලී කොට්ට. ඒ නිසා නිදාගැනීමෙන් සතුටක් ලැබුවෙ නෑ. නිදාගත්තෙ වෙහෙස නිවාගන්න විතරයි. සිහිනුවණින්ම සැතපුනා. සිහිනුවණින්ම අවදිවුනා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ පුළුන් කොට්ට ලැබුනට පස්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා නින්දට ආසා කළ බවයි. ඒ නිසාම අප‍්‍රමාදී බවට ආසා කරන භික්ෂූන් අඩු වුනා.
මෙම කථාවේ සඳහන් ස්වාමීන් වහන්සේ ඉතා හොඳ වීරියකින් යුතු අප‍්‍රමාදී කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩසිටිද්දී උන්වහන්සේගෙන් භාවනා උපදෙස් ලබාගත් මෙම ස්වාමීන් වහන්සේ වනාන්තරයකට වැඩියා. වනයට පැමිණි දවසේ සිට සතර සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගන්නට මහත් උත්සාහයක් ගත්තා. නමුත් සාර්ථක වුනේ නෑ. මොහොතක්වත් චිත්ත සමාධිය ඇතිකරගන්නට පුළුවන් වුනේ නෑ. නමුත් මෙම ස්වාමීන් වහන්සේ ඒ ගැන දුකට පත්වුනේ නෑ. කම්පා වුනෙත් නෑ. උත්සාහය අත්හැරියෙත් නෑ. දිගින් දිගටම උත්සාහ කළා. හිත කළබල කරගත්තේ නෑ. මෙසේ කාලයක් ගත වූ නමුත් ප‍්‍රතිඵලයක් නැති නිසා උන්වහන්සේ යළිත් බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට කල්පනා කළා.
සැවැත් නුවරට වඩිද්දී හැම මොහොතේම සිහි නුවණින් යුතුව පා තැබුවා. සිහි නුවණින් යුතුව වටපිට බැලුවා. සිහිනුවණින් යුතුව ගමන් කළා. උන්වහන්සේට ඒ ගමනේදී එක්තරා වන ලැහැබකදී ඇවිලෙමින් තිබෙන මහා ගිනිකඳක් දකින්නට ලැබුනා. ඒ ගිනිකඳ විශාල ගස් වෙලා ගන්නවා. පුංචි ගසුත් ගොදුරු කරගන්නවා. ගින්නට අහු නොවෙන දෙයක් නෑ. ගිනි දැල් වලින් වනයේ සෑම දෙයක්ම වෙලා ගෙන පුළුස්සා දමනවා. ඒ ස්වාමීන් වහන්සේ බුර බුරා ඇවිලෙන ගින්න දෙස පුදුමයෙන් වගේ බලාගෙන සිටියා. ”මේ ගින්න හරි අපූරු දෙයක් නෙව. හැම දෙයක්ම පුළුස්සා දමනවා. ගින්නට හසු නොවී බේරෙන්නට මේ කිසිම ගහකොළකට පුළුවන් කමක් නැහැ නෙව. අර…. අර…. මහ ගිනි දැල් වලින් ගස් වැල් වෙලෙනවා. ඒ ගින්නට මැදිවෙන ගස් වැල් ඇඹරිලා කඩාවැටෙනවා. පුංචි ගස්වල මේ ගින්න සැණෙකින් වෙලෙනවා. ඒ ගස් ගින්නෙන් ඇඹරිලා පිළිස්සිලා යනවා. අළුයි, දැලියි තමයි අන්තිමට විසිරිලා යන්නෙ. අනේ මටත් මේ ගින්න වගේ විදර්ශනා ප‍්‍රඥාව උපදවා ගන්න ඇත්නම්…. එතකොට මේ සිතේ තියෙන කුඩා මහත් හැම ක්ලේශයක්ම ඒ විදර්ශනා ප‍්‍රඥාව නැමැති ගින්නෙන් පුළුස්සා දමන්න පුළුවනි.”
තමන් බලා සිටින ගින්න තුළින් දියුණු කරමින් යන ධර්මය ගැන වැටහෙන්න පටන් ගත්තා. මෙතෙක් කලක් කොතෙක් උත්සාහ කළත් සංසුන් කරගත නොහැකිව තිබුනු සිත සංසුන් වෙන්න පටන් ගත්තා. ශාන්ත වෙන්න පටන් ගත්තා. සංසිඳෙන්න පටන් ගත්තා. සැවැත් නුවර වැඩසිටි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ වීරියවන්ත භික්ෂුවගේ සිතේ ඇතිවෙන අප‍්‍රමාදී සංකල්පනා දැක්කා. බුදුරජාණන් වහන්සේ ආලෝක ධාරාවක් ඒ භික්ෂුව දෙසට පෙනෙන්න සැලැස්සුවා. ඉර්ධි බලයෙන් එතැනට වැඩම කළා. ”පින්වත් භික්ෂුව, ඒක ඇත්ත. මේ ආර්ය මාර්ගය දියුණු කරන්න ගන්න උත්සාහය තුළ ඇතිවෙන විදර්ශනා ප‍්‍රඥාව මේ ගින්න වගේ තමයි. ඔබ සිතුවා හරි. ඒ විදර්ශනා ප‍්‍රඥාව නැමැති ගින්නට සතර අපායේ උපදවන සියලු කෙලෙස් පුළුස්සා දමන්න පුළුවන්. සසරේ ඇදි ඇදී යන යළි යළි උපත ලබා දෙන සියලු කෙලෙස් පුළුස්සා දමන්න පුළුවන්. ඒ වගේම කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ යන මේ ඕනම භවයක උපතක් කරා ගෙනයන සියලූම කෙලෙස් නැති කර දමන්න විදර්ශනා ප‍්‍රඥාව නැමැති ගින්නට පුළුවන්.”
ඒ ස්වාමීන් වහන්සේගේ සිත මහත් ප‍්‍රමෝදයට පත් වුනා. ප‍්‍රීතියට පත් වුනා. ධර්මය සිහි කිරීම නිසා සිත, කය සැහැල්ලු වුනා. සමාධිමත් වුනා. ඒ ස්වාමීන් වහන්සේ ඒ අවවාදයෙහි පිහිටා සිහි නුවණින් යුතුව ගින්න නොමැති පැත්තට වැඩියා. රුක් සෙවණක වාඩි වුනා. නුවණින් විමසන්න පටන් ගත්තා. සතර සතිපට්ඨානය තුළ ඉතා හොඳින් සිත පිහිටියා. බොජ්ඣංග ධර්මයන් දියුණු වුනා. චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිමින් අරහත්වයට පත් වුනා. බුදුරජාණන් වහන්සේ ඒ වීරියවන්ත භික්ෂුවගේ අප‍්‍රමාදී බව අගය කරමින් මෙම ගාථාව වදාළා.
11. අප්පමාද රතෝ භික්ඛු – පමාදේ භයදස්සිවා
සංයොජනං අණුංථූලං – ඩහං අග්ගී ව ගච්ඡති
ප‍්‍රමාදයෙහි බිය දකිමින් – නොපමා බවෙහිම ඇලෙමින්
නිවන් මගම පුරුදු කරන - නුවණැති සමණෙක් වෙයි නම්
ප‍්‍රඥා ගිනි දැල්ල තුළින් – කුඩා මහත් සියලු කෙලෙස්
හැම වනසා දමන්නේය – ලැව් ගින්නක් දවන ලෙසින්
පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ස්වාමීන් වහන්සේ ජය ගත්තේ නිරතුරුවම උත්සාහය පැවැත් වූ නිසයි. තමන්ගේ උතුම් අදහස මුදුන්පත් වන තුරු සිත ශක්තිමත්ව තබා ගෙන සිටි නිසයි. ඒ ස්වාමීන් වහන්සේ ප‍්‍රමාදය ගැන බියට පත්වෙන කෙනෙක්. ප‍්‍රමාදයට හේතු වන කරුණු ගැන බියවන නිසා ප‍්‍රමාදී වන්නෙ නෑ. අප‍්‍රමාදයේමයි ඇලී වාසය කරන්නෙ. තමන්ගේ සිත සමාධිමත් වුනේ නෑ කියල බාහිර වැඩවල යෙදුනෙ නෑ. තමන්ගේ සිත විසිරුනා කියල කලබල වුනේ නෑ. සිවුරු හරින්න කල්පනා කළේ නෑ. සිතේ ස්වභාවය ගැන හොඳ අවබෝධයකින් හිටියා. එනිසාම ප‍්‍රමාදය ඇතිවෙන දෙයට යොමු වුණේ නෑ. තමන්ගේ උතුම් අදහස අත්හැරියෙත් නෑ. මෙවැනි වීරියක් පවත්වන්නට පුළුවන් නම්, ජය ගැනීම එතරම් දුර තියෙන දෙයක් නෙවෙයි.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ!

NAMO BUDDHAYA!
ane sadu….sadu….sadu….!!! weerya pawathwa genime uthum watinakama monatharamda. evan weeryak upadawagenimata wasanawa lebeva! Namo buddhaya!
සෑමට බුදු සරණයි…!!!!
If you have a brave mind,you can beat the evil one.