නමෝ බුද්ධාය...!

නුවණැත්තා සිත ඍජු කරයි

1,2 ගාථා රත්න
මේඝිය තෙරුන්ගේ කථා වස්තුව

“නුවණැත්තා සිත ඍජු කරයි”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

සිත කියන්නේ මහා පුදුම දෙයක්. මේ ලෝකයේ සියලූම දෙනා වසඟ වෙලා තිබෙන්නේ සිතටයි. සිත තමයි හැම කෙනෙක්වම මෙහෙය වන්නේ. සිතින් තමයි හැම දෙයක්ම හැසිරවීමට වුවමනා කරන බලය යෙදවෙන්නෙ. බුදුරජාණන් වහන්සේ සිත ගැන මෙහෙම වදාළා. ”පින්වත් මහණෙනි, දමනය නොකළ විට, රැක නොගත් විට, සංවර නොකළ විට මහත් විපත පිණිස පවතින්නා වූ යමක් ඇද්ද, ඒ මේ සිත තරම් දමනය නොකළ විට, රැක නොගත් විට, සංවර නොකළ විට මහත් විපත පිණිස පවතින්නා වූ වෙන දෙයක් මා දකින්නේ නැහැ” කියල. එහෙම නම් මේ හිත දහම තුළ හසුරුවා නොගෙන තිබීම අනතුරුදායක බව අමුතුවෙන් කියන්න ඕන නෑ.

බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධානුසාසනාව ලෙස පෙන්වා වදාළ මේ ගාථාව දෙස බලන්න.

සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං – එ්තං බුද්ධානසාසනං

සියලූ පව් නොකිරීමත්,
කුසල් රැස් කරගැනීමත්,
තම සිත පිරිසිදු කර ගැනීමත්,
යන මෙය බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාවයි.


ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, බුද්ධ ශාසනය තුළ බොහෝ දෙනෙක් පැවිදි වුනේ දමනය නොවුණු සිත දමනය කරගැනීම පිණිසයි. සංවර නොවුණු සිත සංවර කරගැනීම පිණිසයි. නොරැකගත් සිත රැකගැනීම පිණිසයි. බොහෝ ස්වාමීන් වහන්සේලා මේ දුෂ්කර අභියෝගය ජයගත්තා. සිත ජය ගැනීම උදෙසා තමන් විසින් බණ භාවනා කරන විට එයට බාධා පැමිණෙන අයුරුත් එම බාධාවන් ජය ගන්නා අයුරුත් මේඝිය තෙරුන්ගේ කථාවෙන් ඉතා අපූරුවට පෙන්වා දෙනවා.

එක් කාලයක බුදුරජාණන් වහන්සේ වාලිකා නුවරට නුදුරු වූ වාලිකා පර්වතයෙහි වැඩසිටියා. ඒ කාලයේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ මේඝිය ස්වාමීන් වහන්සේයි. එදා මේඝිය ස්වාමීන් වහන්සේ ජන්තු කියන ගමට පිණ්ඩපාතේ වැඩියා. උන්වහන්සේ පිඬු සිඟා වඩිද්දී කිමිකාලා කියන ගංඉවුර දිගේ තමයි වැඩියේ. ඒ ගංඉවුර හරි ලස්සනයි. ලස්සන වැලි තලාව තිබුනා.  ඒ වගේම ගංඉවුර දිගටම ලස්සන අඹ වනයක් තිබුනා. එතන පසු කොට යද්දී උන්වහන්සේ ටිකක් නැවතුනා. වටපිට බැලූවා. සිතට හරිම ප‍්‍රීතියි. සිත ප‍්‍රබෝධමත් වුනා. උන්වහන්සේ කල්පනා කළා ”ෂා…. හරි ලස්සන තැනක්. මේ අඹ වනය නම් හරිම අපූරුයි. සිසිල් සෙවනත් හරි අගෙයි. බණ භාවනා කරන කෙනෙකුට කෙලෙස් නැතිකිරීම පිණිස වීරිය ගන්න කෙනෙකුට කියාපු තැනක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් මං අවසර ගෙන මෙතනට එන්නට ඕන. මෙතන තමයි මගේ සිත ගිය තැන.”

ඉතින් උන්වහන්සේ පිණ්ඩපාතෙන් පස්සෙ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නට වැඩියා. බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩිවෙලා කියා හිටියා. ඒ අඹවනයේ ඇති ලස්සනත්, එතැන වාඩි වූ විට කිමිකාලා ගංගාව ඉතාම ලස්සනට ගලාගෙන යන අයුරුත්, රමණීය ගංඉවුරත් ගැන විස්තර කළා. භාවනා කරන කෙනෙකුට එතන නම් ඉතා හොඳ තැනක් බවත් කියා හිටියා. ඊට පස්සේ එතැනට භාවනා කිරීමට යෑම පිණිස අවසර ඉල්ලූවා.

බුදුරජාණන් වහන්සේ මේඝිය ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමට උනන්දුවක් දැක්වූවේ නැහැ. උන්වහන්සේ වදාළේ තවත් කවුරුන් හෝ භික්ෂුවක් එනතුරු ටිකක් ඉවසා සිටින්න කියලයි. නමුත් මේඝිය ස්වාමීන් වහන්සේට හරිම හදිස්සියි. හිතේ තියෙන්නෙ අඹ වනයට ගිහින් භාවනා කිරීම ගැන විතරයි. මේඝිය ස්වාමීන් වහන්සේ මෙහෙම කියා හිටියා. ”අනේ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නම් භාවනා කරලා අමුතුවෙන් මහන්සි වෙන්නට දෙයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ අමුතුවෙන් වීරිය වඩන්නට දෙයක් නැහැ. ඒත් ස්වාමීනී, මට තව කොච්චර නම් මේ ධර්ම මාර්ගය දියුණු කරගන්නට උත්සාහ වඩන්න තියෙනවාද. මට මොනතරම් මහන්සි වෙන්න තියෙනවාද. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන සේක් නම්, ඒ කිමිකාලා ගංඉවුරේ ඇති අඹ වනයටමයි යන්න හිත.” ඒ වතාවේදිත් බුදුරජාණන් වහන්සේ මේඝිය ස්වාමීන් වහන්සේගේ ගමනට උනන්දුවක් දැක්වූවේ නැහැ. තුන් වතාව දක්වාම මේඝිය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටි විට, උන්වහන්සේ මෙහෙම වදාළා. ”පින්වත් මේඝිය, ඔබට කෙලෙස් නැසීමට වීරිය කරන්න ඕනමයි කියලනෙ යන්න හදන්නෙ. ඒකට මං මොනවා කියන්නද. එහෙම නම් යන්න.”

ඉතින් මේඝිය ස්වාමීන් වහන්සේ මහා සතුටට පත් වුනා. ප‍්‍රීතියට පත් වුනා. උද්දාමයට පත් වුනා. ”දැන් ඉතින් මං අඹ වනයට යනවා. ගිහින් පලඟක් බැඳගෙන වාඩිවෙලා කය ඍජු කරගෙන භාවනා කරන්න පටන් ගන්නවා. ඒ වගේ ලස්සන තැනක ඉඳගෙන භාවනා කරද්දී මගේ සිත ඉතා ඉක්මනින්ම සමාධිමත් වේවි. මට සමාධිය දියුණු කරගෙන ගොඩක් වෙලා ඉන්න පුළුවන් වේවි. ඒ  වගේ තැනක තමයි කවුරුත් භාවනා කළ යුත්තේ. ඒවගේ ලස්සන තැනක භාවනා කරන්නට ලැබීම පවා මොනතරම් වාසනාවක්ද” කියලා මේඝිය ස්වාමීන් වහන්සේ අඹ වනයට පිටත් වුනා.

වටපිට බැලූවා. සුදු වැලි තලාව ඈතට විහිදෙනවා. නිල්වන් දිය දහර ලස්සනට ගලා බසිනවා. අතුපතර විහිදුන අඹ ගස් වලින් සිසිල් සෙවන ලැබෙනවා. ඉතාම සතුටකින් යුතුව ඒ අඹ වනය ඇතුලට ගියා. සුවිසල් අඹ රුකක් සෙවනේ වාඩිවුනා. භාවනා කිරීමට සිතාගෙන දෑස පියා ගත්තා. භාවනා කිරීමට පටන් ගත්තා. හරිම පුදුමයි. මේ හිත හැම තැනම විසිරෙනවා. හැම තැනම යනවා. සුළඟකටත් වඩා වේගයෙන් යනවා. මේ සිත වේගයෙන් වෙනස් වෙනස් අරමුණුවලට යනවා. අතීතයේ සිදුවුණු එක එක දේවල් සිතට එනවා. එක එක ආසාවන් සිතට එනවා. අමනාපය ඇතිවෙන, තරහ ඇතිවෙන දේවල් පවා මතක් වෙන්න පටන් ගත්තා. මේ සිත වේගයෙන් කැළඹි කැළඹී යන්න පටන් ගත්තා. චිත්තානුපස්සනාවෙන් හිටිය මේඝිය ස්වාමීන් වහන්සේ සිතේ ඇතිවෙමින් තියෙන මේ ලාමක ස්වභාවය හඳුනාගත්තා.

”ම්…. මේ මොකද….? හරිම පුදුමයි….. මොකද මේ සිතට වුනේ…? කවදාවත් මගේ සිත මෙච්චර කැළඹිලා නෑ. මේ ශාන්ත තැනට මං ආවෙ මොන තරම් ආසාවෙන්ද? මං මේ භාවනා කරන්න වාඩිවුනේ මොන තරම් බලාපොරොත්තු සහිතවද? එහෙත් අයියෝ….! මේ මොකක්ද මේ සිතට වෙලා තියෙන්නේ….? මොකද මේ සිතන විකාර? මොනවද මේ වැඩකට නැති සිතුවිලි?”

මේඝිය ස්වාමින් වහන්සේ මේ සිත හසුරුවා ගැනීමට කොතෙක් උත්සාහ කළත් පුළුවන් වුනේ නැහැ. සිතේ ලාමක ස්වභාවය දමනය වූයේ නැහැ. අරමුණින් අරමුණට සිත පැන පැන ගියේ කලබල වෙච්ච වඳුරු නාම්බෙක් වගේ. උන්වහන්සේ අත්හැරියෙ නැහැ. භාවනා කරන්නට දිගින් දිගටම උත්සාහ කළා. එහෙත් උන්වහන්සේට තමන් පැමිණි කාරණාව සාර්ථක කරගන්නට බැරුව ගියා. අන්තිමේදී මහත් සංවේගයෙන් යුතුව බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. උන්වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩි වුනා. මේ හිතට වෙච්ච වෙනස කියා හිටියා. ”අනේ ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ හිතේ ස්වභාවය නම් හරිම පුදුමයි. ඉතාමත්ම පුදුමයි. මං මොනතරම් ශ‍්‍රද්ධාවකින්ද මේ බුද්ධ ශාසනයේ පැවිදි වුනේ? නමුත් අර අඹ වනයට ගිහින් වාඩි වුනාට පස්සේ මට මේ හිතේ ඇති ඇත්ත ස්වභාවය වැටහුනා. අනේ භාග්‍යවතුන් වහන්ස, මේ සිත කැළඹිලා ගියා. ලාමක අකුසල් සිතුවිලි ඇතිවුනා. ආශාවල් ඇතිවුනා. තරහත් ඇතිවුනා. මේ සිත ගැන මට මහ කලකිරීමක් ඇතිවුනා.”


එවේලෙහි බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා, ”නිවන් අවබෝධ කරන්නට මහන්සි ගනිද්දි ගුණධර්ම මෝරන්නට ඕන. ඒ
 සඳහා කරුණු පහක් උපකාරී වෙනවා.

  1. කළ්‍යාණ මිත‍්‍රයන්ගේ ඇසුර – කළණ මිතුරන්ගේ ඇසුරින්මයි තමන්ට මේ නිවන් මගට වුවමනා කරන ගුණධර්ම දියුණු කරගන්නට පුළුවන් වන්නේ.
  2. සිල්වත් වීම – උපසම්පදා භික්ෂුවක් නම් උපසම්පදා ශීලය පිරිසිදු ලෙස ආරක්ෂා කරගන්නට ඕන. කුඩා වරදෙහිත් බිය දකින්නට ඕන. සමාදන් වූ සිල්පද ආරක්ෂා කරගන්නට ඕන. එතකොට තමයි නිවන සඳහා සුදුස්සෙක් වෙන්නෙ.
  3. දස කථාවෙන් යුක්ත වීම - දෙතිස් කථා වලින් වැළකිලා නිවන් මගට අනුබල ලැබෙන දස කථාවෙන් යුක්ත වෙන්නට ඕන. ඒ දස කථාවමයි අවබෝධයෙන්ම කළකිරීමට හේතු වෙන්නේ. එතකොට තමයි නොඇල්ම දියුණු වෙලා කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්නෙ. ඒ දස කථාව නම් මෙයයි; ඒ කියන්නෙ අල්පේච්ඡුතාවය ගැන කථා අසන්නට ලැබිය යුතුයි. ඒ වගේම ලද දෙයින් සතුටු වීම ගැනත් අසන්නට ලැබිය යුතුයි. ඒ වගේම හුදෙකලා විවේකය ගැනත්, ඒ වගේම පිරිස් සමඟ එක් නොවී වාසය කිරීම ගැනත්, කෙලෙස් දුරු කිරීමට බලවත් ලෙස වීරිය ගැනීම ගැනත් අසන්නට ලැබිය යුතුයි. ඒ වගේම සීලය ගැනත්, සමාධිය ගැනත්, ප‍්‍රඥාව ගැනත්, විමුක්තිය ගැනත්, විමුක්ති ඤාණ දර්ශනය ගැනත් අසන්නට ලැබිය යුතුයි. එතකොට තමයි ඒ තැනැත්තා නිවන් මඟට සුදුසු විදිහට සකස් වෙන්නෙ.
  4. හතරවෙනි කරුණ උත්සාහයමයි -  හැම තිස්සේම පටන් ගත්තු වීරියත් තිබෙන්නට ඕන. අකුසල් දුරුකිරීම පිණිස, කුසල් දියුණු කරගැනීම පිණිස බලවත් වීරියක් තිබෙන්නට ඕන. කෙලෙස් දුරු කරවන ආකාරයේ ඉතාමත් බලවත් වීරියක් තිබෙන්නට ඕන. මේ කාරණා නිවන් දකින්නට වෙර වඩන කෙනෙකුට අතිශයින්ම උපකාරී වෙනවා.
  5. පස්වෙනි කරුණ නම් ප‍්‍රඥාවයි - එයා ප‍්‍රඥාවන්ත කෙනෙක් වෙන්නට ඕන. ඒ ප‍්‍රඥාවන්ත කෙනා හැම තිස්සේම හැම දෙයක් ගැනම නුවණින් විමසනවා. විශේෂයෙන්ම මේ සෑම දෙයක්ම සකස් වෙන ආකාරයත්, වැනසී යන ආකාරයත්, ඒ විදිහටම දකින්න මහන්සි ගන්නවා. දුකට අයිති සියල්ල කෙරෙහි ඇති ඇල්ම දුරුවන ආකාරයෙන් අනිත්‍ය ලෝකය ඒ අයුරින්ම දකින්න මහන්සි ගන්නවා. මේක තමයි ඔහුගේ ප‍්‍රඥාව. මෙවැනි කෙනෙක් තමයි නිවනට වුවමනා ආකාරයෙන් හොඳට මෝරන්නේ.


මේ කරුණු පහ මත පිහිටන කෙනා තව කරුණු හතරක් දියුණු කරගන්නට ඕන. ඒ කියන්නෙ සිතේ ඇතිවෙන රාගාදී අකුසල් දුරුකිරීමට අසුභ භාවනාව දියුණු කරන්නට ඕන. ඒ වගේම සිතේ ඇතිවෙන තරහ නැතිකර ගැනීම පිණිස මෛත‍්‍රී භාවනාව දියුණු කරගන්නට ඕන. සිත විසිරෙන කොට ඒ විතර්ක නැතිවීමට ආනාපානසති භාවනාව ඉතාමත්ම උපකාරී වෙනවා. ඒ වගේම තමන් තුළ තිබෙන මමත්වයෙන් පිරුණු මාන්නය නැති වීමට අනිත්‍ය භාවනාව බොහෝම උපකාරී වෙනවා. මේඝිය, අනිත්‍ය භාවනාව හොඳට ප‍්‍රගුණ වුණොත්, ඒ කෙනාට අනාත්ම ස්වභාවය ඉතා හොඳට වැටහෙනවා. අනාත්ම ස්වභාවය හොඳින් අවබෝධ වන විට මමත්වයෙන් පිරුණු මාන්නය සම්පූර්ණයෙන්ම නැතිව යනවා. මේ ජීවිතයේදීම නිවන අවබෝධ වෙනවා.”එ

මේ විදිහට අවවාද කොට වදාළ බුදුරජාණන් වහන්සේ මෙම ගාථා දෙක වදාළා.


1. ඵන්දනං චපලං චිත්තං – දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවි – උසුකාරෝ ව තේජනං

හරි කලබලයි මේ සිත – එලෙසින්ම සිත චපලය
රැක ගැනුම අසීරුය – පවින් වැළකුමද අසීරුය
එනමුත් නුවණ ඇති අය – දහම තුළ ඍජු කරයි මේ සිත
හී දණ්ඬේ ඇද හරිනා – නුවණැති හී වඩුවා ලෙස

2. වාරිජෝව ථලේ ඛිත්තෝ – ඕකමෝකත උබ්භතෝ
පරිඵන්දතිදං චිත්තං – මාරධෙය්යං පහාතවේ

ජලයෙන් ගොඩට ගත් විට – දුකින් දඟලන මාළුවෙකු ලෙස
සැප දුක ලැබෙන විට – නිතර දඟලයි සිතද මෙලෙසට
හැමවිටම සැලෙනා සිත – දැන හොඳින් දමනය කොට
හසු නොවී මාර උගුලට – එය බැහැර කළ යුතුමය


පින්වතුනේ, පින්වත් දරුවනේ බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන මොනතරම් දන්නවාද. උන්වහන්සේට මොනතරම් ගැඹුරු අවබෝධයක් මේ සිත ගැන තිබිල තියෙනවාද. ඒ නිසානෙ හිතේ මෙම ස්වභාවය තිබෙන බව මෙතරම් ලස්සනට කියල දෙන්නෙ. මේ සිත අරමුණක් පාසා සැලෙනවා. ඒ වගේම කිසිම කලක මේ සිත නම් විශ්වාස කරන්නට හොඳ නෑ. වෙලාවකට මේ සිත ඉතාමත් ශාන්තයි. එතකොට අපි මේ සිතට රැවටෙනවා. ආයෙ කලබල වෙන එකක් නෑ කියල හිතනවා. නමුත් ඊළඟ මොහොතේ මේ සිත විසිරෙනවා. සිත සංවර වෙලා තියෙන කොට අපට හිතෙන්නෙ ආයෙත් නම්, මේ සිත කිලූටු වෙන එකක් නෑ කියලයි. නමුත් අපටත් හොරාම සිත වෙනස් වෙනවා. කිලූටු වෙලා යනවා. මේ සිත කියන්නේ චපල දෙයක්. මේ චපල වූ සිත නිසාමයි අපට මේ සසරේ මෙතරම් දුරක් ගෙව ගෙවා පැමිණෙන්නට සිද්ධ වුනේ. තවදුරටත් සසරේ යන්නට සිද්ධ වන්නේ සිතේ චපලකම නිසාමයි.

මේ සිත රැක ගැනීම ලේසි දෙයක් නෙවෙයි. මහත් වීරියක් වුවමනයි. මේ සිත රැකගන්නෙ නුවණැති කෙනෙක්මයි. නුවණැති කෙනා අකුසල් හඳුනාගෙන බැහැර කරනවා. කුසල් දියුණු කරනවා. කුසලයේම සිත පිහිටුවනවා. ඒ තුළින් තමයි මේ සිත ආරක්ෂා කරගන්නට පුළුවන් වන්නෙ. අකුසල් වලින් බේරාගෙන කුසලයේම සිත පිහිටුවාගෙන ඉන්නවා කියන්නෙ මහා ආනුභාව සම්පන්න දේකටයි. එබඳු කෙනෙක් තමන්ගෙ ජීවිතය ඉතාමත් සාර්ථක කරගන්නවා.

දෙවෙනි ගථාවෙන් මේ හිතේ තියෙන ලාමක ස්වභාවය හොඳින් පෙන්වා දෙනවා. පින්වතුනේ, පින්වත් දරුවනේ, වතුරෙන් ගොඩට ගත්තු මාළුන්ව ඔබ දැකල ඇති. ඒ මාළු ඉන්නෙ හරි අමාරුවෙන්. හරිම පීඩාවෙන්. ඒ මාළු උඩ පැන පැන දඟලනවා. වතුර නැති නිසාමයි දඟලන්නෙ. මේ සිතත් සැප ලැබෙන වෙලාවට සැප රඳවගන්න දඟලනවා. දුක් ලැබෙන වෙලාවට දුකින් පැන යන්න දඟලනවා. හරිම විසිරීමකින් පවතිනවා. ඉතාමත්ම කලබලයි. මහත් පීඩාවකින් යුක්තයි. මේ වගේ දඟලන සිත නැවත නැවතත් ඇදිලා යන්නෙ වතුර ලැබෙන වෙලාවට සතුටු වෙන මාළුවා වගේ කාම අරමුණුවලටමයි. ඒ කාම අරමුණුවලට හසුවුන කෙනා ලෙහෙසියෙන් ගැලවෙන්නෙ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ කාම අරමුණු කියන්නේ මාරයාගේ තොණ්ඩුව කියලයි. ඒ මාර උගුලට හසුවෙන්නෙ හිතේ ඇති මේ ස්වභාවය හඳුනා නොගත් කෙනයි. හිතේ මෙම ලක්ෂණය හඳුනාගත් කෙනා හෙමින් හෙමින් මේ සිත දමනය කරනවා.

සිත දමනය කිරීම ඉතාමත් අසීරු දෙයක් බව සිතේ ස්වභාවය දන්නා කවුරුත් පිළිගන්නවා. එබඳු සිතට හසු නොවී ජය ගැනීමට නම් තමන් තුළ විශේෂ ගුණධර්ම දියුණු කරගත යුතුයි. ඇත්තෙන්ම ජීවිත අවබෝධය සඳහා වුවමනා කරන කුසලතා ඇතිවයි බොහෝ දෙනෙක් උපදින්නේ. නමුත් ඔවුන් අභ්‍යන්තර ගුණධර්ම දියුණු කිරීම ගැන අවධානය යොමු නොකරන නිසා කලක් යන විට තම කුසලතා පිරිහී යනවා. වයසට යන විට දුර්වල වෙනවා. කල්පනාව නැතිව යනවා. නොමඟ ගිය සිතක් සමඟ ජීවත් වෙලා මිය යනවා. එසේ මිය යාමේදී ඔහුට සිත දියුණු කිරීමේ දුර්ලභ අවස්ථාව අහිමි වීමෙන් අවසනාව තමයි ඉතුරු වෙන්නෙ.

මේ සිත දමනය කළ යුත්තේ ඒ නිසයි. ඒ ගැන බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාළා. මෙහි පළමු ගාථාවෙන් එම උපමාව සඳහන් වෙනවා. හී වඩුවෙක් ඉන්නවා. ඔහුට ලැබෙන්නේ ඇද වෙච්ච යකඩ කූරු. ඔහු ඒ යකඩ කූරු හොඳට රත් කරනවා. ඊට පස්සේ හොඳින් රත් වුණු ඒ යකඩ කූරු මිටියෙන් තලනවා. ටිකෙන් ටික ඍජු කරනවා. අන්තිමේදි ඉතාමත්ම ඍජු හී දඬු සදන්නට ඔහු සමත් වෙනවා. අන්න ඒ වගේ නුවණැති කෙනා මේ සිතට රැවටෙන්නෙ නෑ. සිතට අවවාද කරනවා. කීකරු කරගන්නවා. මෙවැනි ලාමක සිතක් ධර්මය තුළ දමනය කරගෙන නිවන් මගට ඍජු කරන්නට ඇත්නම් මොන තරම් වාසනාවක්ද.

 

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ!

Related Posts Plugin for WordPress, Blogger...
3 Comments
  1. ඔබ අප සියලු දෙනාට ද ඒ උතුම් කල්‍යාන මිත්‍ර ඇසුර ද, සීල රැකීමේ හැකියාව ද, දස කතාවට ද, බලවත් උත්සයට ද නුවණැති වීමටද සිත යොමු වේවා…නමෝ බුද්ධාය…තෙරුවන් සරණයි…!!!

  2. swamin wahansa,
    Oba wahanseta anekawarayak pin

  3. Mara Senawa Athi Wishishta Lesa Parajaya Kala Ahinsaka Uthum Anantha Gnanayak athi Manushashaintath Deviyantath Shreshtavu Manushashaintath Deviyantath Priyavu Arahan Gunaya athi Samma Sambudhdha Gunaya athi Wijja Charana Sampanna Gunaya Athi Sugatha Gunaya athi Lookavidu Gunaya Athi Anuththaro Purisa Dhamma Sarathi Gunaya Athi Saththa Deva Manussanan Gunaya Athi Budhdha Gunaya Athi Bhagava Gunaya Athi E Bhagyawath Arahath Samma Sambudu Rajanan Wahansege Sri Mukayen Deshna Kala Swakkatha Gunaya Athi Sandhittika Gunaya Athi Akalika Gunaya Athi Ehipassika Gunaya Athi Opanaika Gunaya Athi Pachchaththang Wedhithabba Wingnuhi Gunaya Athi E Sri Sadhdharmaya Lokaya Pura Pathuruwana E Ahinsaka Uthum Gnanawantha Kiribathgoda Gnanananda Loku Swamin Wahanseta Mage Namaskaraya Himi Weva!!!!!

Leave a Reply

Latest Image Galleries

Contact Details

Waduwawa, Yatigal Oluwa, Polgahawela, Sri Lanka.
Phone: (094) 37 22 44 602
Fax: (094) 37 22 44 602
Email: info@mahamevnawa.lk

All Rights Reserved

Contents of this website are fully protected by copyright laws. Copyright of some images belongs to their ownership.Downloading any contents for personal use is allowed. Selling these contents is strictly prohibited. Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'Mahamevnawa.lk'.