නමෝ බුද්ධාය...!

සිත දමනය කිරීමම යහපති

3 ගාථා රත්නය
එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව

“සිත දමනය කිරීමම යහපති”

පින්වතුනේ, පින්වත් දරුවනේ,

බුදුරජාණන් වහන්සේගේ කාලෙ බොහෝ භික්ෂූන් වහන්සේලා මේ සිත ජයගත්තා. ඒ ජයගැනීම කළේ අප‍්‍රමාදය නිසාමයි. හිත කාම අරමුණුවල වැටෙද්දී කැමති කැමති අරමුණුවල බැසගනිද්දී එයින් බැහැර කොට සතර සතිපට්ඨානයේ නැවත නැවත පිහිටුවා ගන්නට දක්ෂ කෙනා විතරයි මේ සිත ජයගන්නෙ.


කොසොල් ජනපදයේ අල්ලිගාම නම් ගමක් තිබුනා. මේ ගමට වස් වැසීමට ස්වාමීන් වහන්සේලා හැට නමක් වැඩම කළා. ඒ 
ගමේ ප‍්‍රධාන දායිකාව වුනේ මාතිකමාතා නමින් ප‍්‍රසිද්ධ වූ ඉතාමත්ම කරුණාවන්ත උපාසිකා මාතාවක්. එතුමිය ස්වාමීන් වහන්සේලා සීල, සමාධි, ප‍්‍රඥා දියුණු කරගන්නවාට ඉතාමත්ම කැමතියි. උන්වහන්සේලාගේ ධර්ම මාර්ගය දියුණු වන ආකාරයට ඇප උපස්ථාන කිරීම ගැන හැමතිස්සේම කල්පනා කළා.

ස්වාමීන් වහන්සේලාත් මාතිකමාතා මහෝපාසිකාව නිසා වඩවඩාත් උත්සාහවන්ත වුනා. වීරියවන්ත වුනා. උන්වහන්සේලා කතා වුනා.

“පින්වත් ආයුෂ්මතුන් වහන්ස, දැන් බලන්න…. අපගේ මේ මාතිකමාතා මෑණියන් බලවත් ශ‍්‍රද්ධාවකින් අපට දන් පැන් පූජා කරනවා. ඉතාමත් ප‍්‍රණීත ආකාරයෙන් දන් පැන් පූජා කරනවා. අපගේ කුටිවල අඩු පාඩු සොයා බලනවා. සේනාසන පහසුකම් සපයනවා. සක්මන් මළු තනවනවා. පැන් පොකුණු තනවනවා. අපි සියලූ දෙනා මේ ධර්ම මාර්ගය දියුණු කරගන්නවාට මාතිකමාතා මෑණියන් මොනතරම් ශ‍්‍රද්ධාවෙන් කැපවෙලා ඉන්නවද. අපිත් බාහිර කතා බහට යොමුවෙන්න හොඳ නෑ. අනවශ්‍ය දේවල්වල පැටලෙන්න හොඳ නෑ. නිවන් මගට බාධක කරුණු සිතන්න හොඳ නෑ. ඒ නිසා වැඩිපුර මුනිවත රකිමු. නිශ්ශබ්ද වෙලා ඉමු. සතියකට වරක් විතර ධර්ම සාකච්ඡා කළහම ඇති. පින්වත් ආයුෂ්මතුන් වහන්ස, අපට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ විදිහටයි නේද?

‘සන්නිපතිතානං වෝ භික්ඛවේ, ද්වයං කරණීයං වදාමි. ධම්මීවා කථා අරියෝවා තුණ්හීභාවෝ.’

පින්වත් මහණෙනි, ඔබ විසින් එක් රැස් වූ විට කරුණු දෙකක් කළ යුතු යැයි කියමි. එක්කෝ ධර්ම කථාව කළ යුතුය. එසේ නැත්නම් නිශ්ශබ්දව භාවනා කළ යුතුය.

ඉතින් පින්වත් ආයුෂ්මතුන් වහන්ස, අපි ඒ දෙකම ඉෂ්ට කර ගැනීමට නුවණින් යුක්තව කටයුතු කරමු.” කියල ඒ ස්වාමීන් වහන්සේලා ඉතාමත් සමඟි සම්පන්නව කතා බස් කළා. වාද විවාද කරගත්තෙ නෑ. ඉතාමත් සතුටු වුනා. කිරියි, වතුරයි එක්වුනා වගේ එකිනෙකා මහත් මෛත‍්‍රී සහගත සිතින් වාසය කළා.

දවසක් මාතිකමාතා මහෝපාසිකාව සංඝෝපස්ථාන පිණිස සේනාසනයට පැමිණියා. කිසි කෙනෙක් පෙනෙන්න නැහැ. පාළු වෙලා තිබුනා. එතුමිය මේ ගැන කල්පනා කළා. එතකොට ගෙඩිය ගසනවා ඇසුනා. ටික වෙලාවකින් පොඩි පොඩි අඩිපාරවල් දිගේ බිමට නැඹුරු වූ නෙතින් යුතුව ඉතාමත්ම නිශ්ශබ්දව, ඉතාමත්ම ශාන්තව ස්වාමීන් වහන්සේලා වැඩියා. ස්වාමීන් වහන්සේලාට වන්දනා කළ මාතිකමාතාව ශෝකභරිතව කථා කරන්නට පටන් ගත්තා.

අනේ ස්වාමීන් වහන්ස, ඔබවහන්සේලා අමනාප වී සිටිනා හැඩයි. අහෝ….! මෙවන් උදාර වූ බුදු සසුනක පැවිදි වූ ඔබවහන්සේලා සිත විතරක් කිලූටු කරගන්න එපා! අමනාපය ඇතිකරගන්නට එපා! තරහ සිත් ඇතිකරගන්ට එපා! ක්‍රෝධය ඇති කරගන්නට එපා! ඔබවහන්සේලාගේ නිවන් මග ඒ තුළින්ම වැනසිලා යාවි.

පින්වත් උපාසිකා මෑණියනි, අපි අමනාප වෙලා නැහැ. තරහ වෙලත් නැහැ. අපි කවුරුවත් එකිනෙකාට ක්‍රෝධ කරන්නෙත් නැහැ. අවලාද කියාගන්නෙත් නැහැ. අපහාස කරගන්නෙත් නැහැ. අපි එකිනෙකා දෙස බලන්නෙ ප‍්‍රිය මනාප වූ සිතින් යුක්තවයි. මුහුණු පුළුටු කරගෙන නොවෙයි. පින්වත් උපාසිකා මෑණියනි, අපගේ බුදුරජාණන් වහන්සේ අපට වදාළේ, නිශ්ශබ්දතාවයම බහුල වශයෙන් පවත්වන්න කියලයි. එක්රැස්වූ විට එක්කො ධර්ම කථාව කරන්න. නැත්නම් පාඩුවෙ භාවනා කරන්න කියලයි. ඉතින් අපි ඒ නිශ්ශබ්දතාව තමයි මේ පුරුදු කරන්නෙ.

සාදු! සාදු! පින්වත් ස්වාමීන් වහන්ස, සමඟි වූ භික්ෂූන් වහන්සේලා සමඟි සම්පන්නව බණ භාවනා කරනවා දැකීමත් වාසනාවක්මයි. අනේ ස්වාමීනී, සතර සතිපට්ඨානය වඩන්නට මමත් ආසයි. සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගන්නට තිබෙනවා නම්, මොනතරම් වාසනාවක්ද. පින්වත් ස්වාමීන් වහන්ස, ගිහි ගෙදර මොන තරම් කටයුතු තිබුනත්, සිත දියුණු කරන මේ ධර්මය නම් අත්හරින්ට හොඳ නෑ.

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, අර ස්වාමීන් වහන්සේලා මාතිකමාතා මහෝපාසිකාවට සතර සතිපට්ඨානය ඉගැන්නුවා. අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යය ගැන විස්තර වශයෙන් කියල දුන්නා. ප‍්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යය ගැන විස්තර වශයෙන් කියල දුන්නා. දුක්ඛ නිරෝධය නම් වූ ඒ අමා මහ නිවන ගැන විස්තර වශයෙන් කියල දුන්නා. දුකෙන් නිදහස් වන ඒකායන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් විස්තර වශයෙන් කියල දුන්නා. පංච උපාදානස්කන්ධය ගැන, පටිච්චසමුප්පාදය ගැන කියල දුන්නා. ඒ මහා පින්වත් උපාසිකාව සිදුරු නැති භාජනයකට පැන් පුරවා ගන්නවා වගේ ඒ සෑම වචනයක්ම සිතේ දරා ගත්තා. හොඳින් මතක තබාගත්තා. ගෙදර ගිහින් ඒ විදිහටම තමන්ගේ පාඩුවේ බණ භාවනා කළා. පුරසාරම් දොඩන්න ගියේ නෑ. ඉතාම ටික දවසයි ගත වුනේ. ඒ පින්වත් මාතිකමාතා උපාසිකාව සෝවාන් වුනා. සකදාගාමී වුනා. අනාගාමී වුනා. එතුමිය දියුණු කරන ධ්‍යාන බලයෙන් අනුන්ගේ සිත දකින්නට තරම් පරචිත්ත විජානන ඤාණයත් උපදවා ගත්තා.

දිනක් මාතිකාමාතා උපාසිකාව ස්වාමීන් වහන්සේලාගේ චිත්ත දියුණුව ගැන විමසා බැලූවා. ‘අහෝ! තවමත් ස්වාමීන් වහන්සේලා මග ඵල ලබල නෑ. නිවන අවබෝධ කරල නෑ. මේකට හේතුව කුමක්ද’ කියල විමසා බැලූවා. ඒ ස්වාමීන් වහන්සේලාට ලැබෙන දාන මානවල යම් යම් අඩුපාඩු තියෙනවා. සේනාසනවල සකස් විය යුතු තැන් තියෙනවා. දැන් මාතිකමාතා උපාසිකාව ආදරණීය මව් කෙනෙක් දරුපිරිසකට උපස්ථාන කරන්නාක් මෙන් වස් වසා පිළිවෙත් පුරන සඟරුවනට මඟ ඵල නිවන් සලසා දෙන්නට ඇප උපස්ථාන කරනවා. සිතේ කයේ පහසුව ඇතිවෙන ආහාර පාන පිළියෙල කර දෙනවා. අෂ්ටපාන වර්ග පිළියෙල කර දෙනවා. උණු පැන්, සිසිල් පැන් පිළියෙල කර දෙනවා. ඉතා හොඳින් ලැබෙන සාත්තු සප්පායම් නිසා ලෙඩ රෝග සුවවෙනවා වගේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිත් සතන් කෙමෙන් කෙමෙන් ධර්මයේ පිහිටියා. සතර සතිපට්ඨානයේ පිහිටියා. සීල, සමාධි, ප‍්‍රඥා වැඩෙන්න පටන් ගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගන්නට පුළුවන් වුනා. ඒ ස්වාමීන් වහන්සේලා හැට නමම උතුම් අරහත් ඵලයට පත් වුනා.

වස් කාලය අවසන් වුනා. මාතිකමාතාවට මහත් සේ පුණ්‍යානුමෝදනා කළ සඟ පිරිස බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට පිටත් වුනා. උන්වහන්සේ බැහැ දැක තමන් හට නිවන් මගට මහත් සේ උපකාර කළ උදාර කළ්‍යාණ මිත‍්‍ර ගති ඇති මාතිකමාතා උපාසිකාව ගැන ප‍්‍රශංසා මුඛයෙන් කතා කළා. එතැන සිටි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මෙය අසා සිටියා. උන්වහන්සේටත් අල්ලගාමයට වඩින්නට ආසාවක් ඇති වුනා. උන්වහන්සේත් අල්ලගාමයට වැඩියා.

මේ ආගන්තුක ස්වාමීන් වහන්සේට මාතිකමාතා මහෝපාසිකාව මහත් ආදර ගෞරවයෙන් ඇප උපස්ථාන කළා. ඒ ස්වාමීන් වහන්සේට සිත පාලනය කරගන්න අමාරුයි. වළඳපු නැති ආහාර පාන ගැන හිතනවා. මාතිකමාතා උපාසිකාව එය දැනගෙන පසුවදාට උන්වහන්සේ සිතන ලද ආහාරපාන ප‍්‍රණීතව සකස් කොට පූජා කරනවා. ටික දවසක් ගතවෙද්දී මේ ස්වාමීන් වහන්සේට මහත් භයක් ඇති වුනා.

හප්පා…. මේ මහෝපාසිකාව මං සිතන සිතන දේ දැනගන්නවා නෙව. මං තාම සිත දියුණු කරගෙන නෑ. මගේ සිත තවමත් චපලයි. එක එක ආස කරන අරමුණුවල මේ සිත බැසගන්නවා. මෙවැනි පිරිහුණු සිතකින් නම් මේ උතුම් මාතිකමාතාවගේ අතින් උපස්ථාන ලබන එක සුදුසු නෑ” කියල ඒ ස්වාමීන් වහන්සේ මහත් සංවේගයට පත්වුනා. දුකට පත්වුනා. සිත ගැන කළකිරුනා. බුදුරජාණන් වහන්සේව සොයාගෙන වැඩියා. බුදුරජාණන් වහන්සේට මේ කාරණය සැළ කළා. ඒ වෙලාවෙහි මෙම ගාථාව වදාළ බුදුරජාණන් වහන්සේ නැවතත් අල්ලගාමයටම යන ලෙස උන්වහන්සේට වදාළා. මේ ගාථාව තුළින් සිත ශක්තිමත් කරගත් ඒ ස්වාමීන් වහන්සේ අල්ලගාමයට වැඩම කළා. මාතිකමාතාවගේ උපස්ථාන ලබමින් දැඩි වීරියකින් භාවනා කළා. ටික දවසකින් උතුම් අරහත්වයට පත් වුනා.

3. දුන්නිග්ගහස්ස ලහුනෝ – යත්ථ කාමනිපාතිනෝ
චිත්තස්ස දමථෝ සාධු – චිත්තං දන්තං සුඛා’වහං

නිගරු කොට මේ සිතට – අසීරුය දමනය කරන්නට
වෙනස් වෙයි හැමවිටම – ඇලෙයි මේ සිත ආස දෙයටම
මේ ලෙසින් පවතින සිත – දමනය කෙරුම යහපති
දමනයට පත් වූ සිත – මහත් සැපතකි ලබා දෙන්නේ.


පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ සිතට මොන තරම් අවවාද කළත් කීකරු කර ගන්නට ඉතාමත්ම අමාරුයි. මොනතරම් ගැරහුම් ලැබුවත්, ඒ හේතුවෙන් වත් මේ සිත කීකරු කරගන්න එක ලෙහෙසි නෑ. ආස කරන දේවල්වල පැටලෙන්නෙ ගහක එතෙන වැලක් වගේ. ආස කරන අරමුණුවල මේ සිත ගිලෙන්නෙ දිය සුළියකට හසුවන රොඩු කැබැල්ලක් වගේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුළින් විතරමයි සිතට රැකවරණයක් ලබාගන්න තියෙන්නෙ. සිත රැකගත යුතු ආකාරය මෙතරම් පැහැදිළි ලෙස ලෝකයේ වෙන කිසිම කෙනෙක් කියා දීලා නැහැ. ඒ නිසා අපට මේ සිතේ ස්වභාවය ඉතාම පැහැදිලිව දකින්න පුළුවන් වෙන්නෙ ශ‍්‍රී සද්ධර්මය තුළින් පමණයි. මේ සිත මොනතරම් භයානකද කියල වැටහෙන්නේ චිත්තානුපස්සනාවේ යෙදෙන කෙනෙකුට විතරයි. එයා සිත ගැන කල්පනාවෙන් ඉන්නවා. නොමඟ යන කොට වහාම සුමඟට යොමු කරගන්නවා. කල්පනාවෙන් නොසිටියොත් මේ සිත විසින් පුද්ගලයාව නිරයටම ඇදගෙන යනතුරු දැනගන්නට ලැබෙන්නෙ නැහැ. මේ නිසා මේ සිත දමනය කිරීමමයි යහපත් වන්නෙ.

 

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ!

Related Posts Plugin for WordPress, Blogger...
8 Comments
  1. SADHU…….. SADHU……..SADHU………

  2. bohoma agey visistay

  3. HITHATA LOKU SAHALLUWAK DENENAWA

  4. නොවේ මෙවන් අමා දම් ලොවක අනෙකක්… මී පැනි මෙන්මය සොදුරැ..

  5. Saadu..saadu..!

  6. Sadu Sadu.. Sadu..!!!

  7. Namo buddhaya!

    ane sadu….sadu……sadu……..!!! mema uthum deshnawa mama sathutin anumodan una. monatharam uththama vu dharmayakda. ane mama gena neda me kiyanne. mage sitha gena hemawelawema kalpanawen inna one. ane mema uthum dharmaya me vidiyatama daragena purudu karaganna lebunoth…………sadu……sadu…….sadu……!!!
    Namo buddhaya!

  8. This came on E-mail, but FONT is not there, so i checked this on the site.

    Please send me the FONT for this. Thanks!

Leave a Reply

Latest Image Galleries

Contact Details

Waduwawa, Yatigal Oluwa, Polgahawela, Sri Lanka.
Phone: (094) 37 22 44 602
Fax: (094) 37 22 44 602
Email: info@mahamevnawa.lk

All Rights Reserved

Contents of this website are fully protected by copyright laws. Copyright of some images belongs to their ownership.Downloading any contents for personal use is allowed. Selling these contents is strictly prohibited. Uploading any of these articles and audio or video contents on the web for any purpose is not allowed without a written consent of the 'Mahamevnawa.lk'.